gossip lanka

වරද පිළිගැනීමකින් තොරව සහ දඬුවම් නැතිව හිරුණිකා නඩුව අවසන් කර ගැනීමට ඉල්ලයි

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට  එරෙහි නඩුව මැයි මස 04 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළා.


අද දින මෙම  නඩුව මහාධිකරන විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 (2) වගන්තිය අනුව තම සේවාදායිකාද වරද පිළිගැනීමකින් තොරව හා දඩුවම් කිරීමකින් තොරව නඩුව අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම ස්ථාවරය නීතිපතිවරයා වෙත දැනුම් දෙන බව ද විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැනුම් දුන්නේ නඩුව අවසන් කර ගන්නේ නම් විත්තිකාරිය වරද පිළිගැනීමවත් අපේක්ෂා කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිට වූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළා.

ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත්හිටුවීමට මහාධිකරණ නියෝග කර තිබුණා.

2015 වර්ෂයේ දෙසැම්බර්  21 තරුණයෙක් දෙමටගොඩ දී පැහැර ගෙන ගොස් පහර දීමට අදාළව චෝදනා 29 යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇයගේ කාර්ය්‍ය මණ්ඩලයට අයත් සේවකයින් 5 දෙනෙකු ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණා.
gossip lanka