gossip lanka

ගෝඨාගේ සංවර්ධන මායාව ගැන ලියූ මාධ්‍යවේදියාට ප්‍රහාරයක් !

හබරාදූව, මීපේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසට අද අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සඳහා පුද්ගලයන් හතර දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් විසින් නිවැසියන් වෙත පහර දී නිවසට අලාභ හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පහර දී ඇත්තේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ලසන්ත විජයරත්න මහතාටයි. ඔහුගේ අතකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ලසන්ත විජයරත්න මහතා මීට සති කිහිපයකට පෙර 'නාස්තිකාර සංවර්ධන සහ දූෂණය' නමින් ග්‍රන්ථයක් එළිදැක්වූ අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවර්ධනයේ මුවාවෙන් සිදුකළ නාස්තිය සහ දූෂණ-වංචා සම්බන්ධයෙන් එම ග්‍රන්ථයෙන් හෙළිදරව් කෙරිණි.

අදාල මාධ්‍යවේදියා පවසන්නේ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම නතර කරන ලෙස පවසමින් තමාට සහ බිරිඳට පහර දුන් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද පරාජය වුවද වන්දි ගෙවීමට සූදානම්ව සිටින ලෙස ඔවුන් ප්‍රකාශ කළ බව ද විජයරත්න මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වෙත පැමිණිලි කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

-lankanewsweb.
gossip lanka